Kaduwela, Sri lanka.

පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මය

පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු පළාත තුළ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය නිසා ඒම ප‍්‍රදේශ වල ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණතාවයට පත්වුණා.මෙසේ අසරණතාවයට පැමිණි ජනතාවට සවියක් වීම සළකා ඔවුනගේ සුභ සෙත උදෙසා, එම පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ‍්‍රද්ධා සමාජ සත්කාර ඒකකය විසින් පාසැල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මයක් පසුගියදා සිදු කළා.

මෙහිදී කිලිනොච්චියේ කණ්ඩාවලෛ මහා විද්‍යාලය, ධර්ම පුරම් අම්බිකයි විද්‍යාලය,මුලතිව් නෙත්තලියාරු දෙමළ විද්‍යාලය යන පාසල් තුන කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම පාසැල් උපකරණ බෙදා දීම සිදු වුණේ. මේ පින්කමේදී 350 කට අධික දරුවන් පිරිසක් උදෙසා පාසැල් බෑග් , හා අනෙකුත් පාසැල් උපකරණ ඇතුළු රු3500කට අධික වටිනාකමකින් යුතු අංග සම්පුර්ණ පාසැල් උපකරණ කට්ටලයක් බැගින් ලබාදීම සිදුවුනා.මෙසේ බෙදා දුන් ආධාර වල වටිනාකම රුපියල් මිලියනයකට අධිකයි.මහමෙව්නාව භාවනා අසපු සංචිතයට සම්බන්ධ සැදැහැවතුන්ගේ හා ශ‍්‍රද්ධා රූපවාහිනී පේ‍්‍රක්ෂක, ලක්විරු ගුවන්විදුලි ශ්‍රාවක ඔබගේ ද්‍රව්‍යමය හා මූල්‍යමය දායකත්වයෙන් මෙම පින්කම සාර්ථක කරගැනීමට ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට හැකියාව ලැබුණා. රට, දැය, සමය රැකගැනීමට උපන් හපන් උගත්, බුද්ධිමත් දරු පිරිසක් බිහිකිරීමේ උදාර අරමුණට උපකාර පිණිස ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම මහඟු පුණ්‍ය කර්මයෙන් රැස්වූ සියලූ පින් මේ සියලු උතුම් කාර්යයන් සඳහා නිබඳව අපහට කරුණාවෙන් අනුශාසනා කරමින් මාර්ගෝපදේශකත්වය ලබාදෙන්නා වූ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපුවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් , අනගාරිකා මෑණිවරුන්ටත්, සැදැහැති දායකත්වය ලබා දුන් පින්වතුන්ටත්, ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ පින්වතුන්ටත්, ශ‍්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලූම පින්වත් දරුවන්ටත්, එමෙන්ම ශ‍්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්මදාන සාමාජික පින්වතුන් සියලුම දෙනාටත්, නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත්, දැකබලා අනුමෝදන්වූ සියලුම දෙනාටත් මේ රැස් කළ සියලු පින් එක සේ අනුමෝදන් වෙත්වා ! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!