Kaduwela, Sri lanka.

පළමු පිවිතුරු පැන් පූජා වැඩසටහන

අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙලෙන අප සහෘද ජනතාව වෙත වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතියයි “පිවිතුරු පැන් පූජා. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධා ගුවන් විදුලියේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්බර පුණ්‍ය සංකල්පනාවකට අනුව ආරම්භ වූ පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ දෙවන අදියර ඔස්සේෙ, මහමෙව්නාව භාවනා අසපුවට සහ ශ්‍රද්ධා රූපවාහිනිය සම්බන්ද සැදැහැවතුන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 6.5ක පමණ මූල්‍යමය පිරිවැයක් දරමින් පොළොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේ අඹගස්වැව, මීගොලෑව – එකමුතුගම, තලාකොළවැව, වඩිගවැව සහ බේබියාවැව යන ගම්මානවල ජල පිරිපහදු ඒකක පහක් අභිනවයෙන් විවෘත විය. එමඟින් එම ගම් ඇසුරු කොටගෙන වාසය කරනා 20,000ක් පමණ ප‍්‍රදේශවාසීන්ට සෙත සැළසෙනු ඇත. මෙම ජල පිරිපහදු ඒකක තනවනු පිණිස ශ්‍රමදායකත්වය ලබාදුන්, පවත්වාගැනීම පිළිබඳ වගකීම දරනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් පල්ලේගම මැතිඳුන් ඇතුලු දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටද අප මෙත් සිතින් සෙත් පතන්නෙමු. දායකත්වය දැක් වූ සුපින්වතුන් :- මහතලාකොළවැව – ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන සැදැහැවතුන්. මීගස්වැව – පින්වත් අමිල ගමආරච්චි මහතා සහ චන්දනා දුෂාමලී මහත්මිය විසිනි. අඹගස්වැව – ඩයලොග් ආයතනය. බේබියාවැව – පින්වත් ඩී.කේ. සුබසිංහ මහතා, එස්.එන්. සුබසිංහ මහත්මිය, ජීවක සුබසිංහ මහතා, පී.පී. සුබසිංහ මහතා විසිනි. මීගොල්ලෑව – ගින්තොට පදිංචිව සිටි මල්ලිකා ගුණවර්ධන මහත්මිය සිහිවීම පිණිස පවුලේ සහෝදර සහෝදරියන් විසිනි. මෙම ජල පිරිපහදු ඒකකයක් සදා නිම කිරීමට ලක්ෂ 13ක මුදලක් වැය වේ. මේ අනුව ඉහත සඳහන් සුපින්වත් පිරිස මෙම ජල පිරිපහදු ඒකක 5 සඳහා ලක්ෂ 65ක පමණ වූ මූල්‍යමය පිරිවැයක් දැරීමෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතියට සක්‍රීයව දායක වී ඇත. පිවිතුරු පැන් පූජා දෙවන අදියර විවෘත කිරීම ව්‍යවහාරික වර්ෂ 2015ක් වූ සැප්තැම්බර් මස 03වන දින පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ පින්බර සුරතින් විවෘත විය. මේ ජල පිරිපහදු ඒකක සඳහා පිරිවැය දරමින් මෙන්ම ශ්‍රමයෙන් ද දායකත්ය දැක්වූ සුපින්වත් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය උදෙසාත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. මේ ඒ සොඳුරු මතකයේ ඡායරූප පෙළකි. දැක බලා අනුමෝදන් වන සුපින්වත් ඔබටත් නිදුක් නිරෝගී සුවපත් බාවය උදෙසාත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි!